(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බව ලෝක බැංකුව ඊයේ (06) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

උග්‍රවන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බව ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂක ෆාරිස් එච් හඩාඩ් මහතා පැවසුවේය.

එපමණක් නොව  අඩු ආදායම්ලාභීන් ආරක්ෂා කර ගැනීම සඳහා වන සමාජ ආරක්ෂණ දැල ශක්තිමත් කිරීමටද ශ්‍රී ලක්නව අවධානය යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

ආර්ථික අර්බුදය හමුවේ 2021 සහ 2022 වසර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ඇස්තමේන්තුව සියයට 25.6 ක් දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මිලියන 2.7 ක් දක්වා වැඩි වී ඇති බවත් හඩාඩ් මහතා ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් සිදුවන හානිය අවම කරමින් ආර්ථික අර්බුදයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ඇති කිරීම සඳහා කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා පුළුල් කළ යුතු බවත් ශ්‍රී ලාංකිකයන්ට ලැබෙන ආදායමේ සැබෑ වටිනාකම නැවත ඇති කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.