(විමුක්ති එස් රුද්‍රිගු)

රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා සම්පූර්ණයෙන්ම බිඳවැටීමත් සමග රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාර තවත් දැඩි කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.

බැලැස්ටික් මිසයිල භාවිත කරමින් යුක්රේනයේ කියෙව් නගරයට සහ ප්‍රධාන යටිතල පහසුකම්වලට රුසියාව ඉදිරියේදී දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇති බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කිරීමට පැවැත්වූ සියලුම සාකච්ඡා කඩා වැටී ඇති බවත් නැවතත් දෙපාර්ශ්වය යුද්ධය ආරම්භ වූ අදියරට පැමිණ ඇති බවත් එහි සඳහන් වේ.

බටහිර රටවල් පනවා ඇති ආර්ථික සම්බාධක හෝ රුසියානු තෙල් පිරිපහදු හා සැපයුම් ජාලයන්ට යුක්‍රේනය එල්ල කරන ප්‍රහාර හමුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කිසිසේත්ම යුද්ධය නතර නොකරනු ඇති බවද ආරංචි මාර්ග පවසා ඇත.

දැන් රුසියාව යුක්රේනයට එල්ල ප්‍රහාර දැඩි ඒවා නොවන බවත් ඉදිරියේදී එල්ල වන ප්‍රහාර තවත් දැඩි වනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

යුක්රේනයට අවශ්‍ය ආයුධ සහ බුද්ධි තොරතුරු නේටෝ සාමාජික රටවල් විසින් ලබා දෙන බැවින්, යුක්රේනය රුසියාවට එල්ල කරන ප්‍රහාර නේටෝ සංවිධානයේ සෘජු ප්‍රහාර ලෙස රුසියාව සළකන බදවා ආරංචි මාර්ග පවසා ඇත.

රුසියානු ආර්ථිකයට සම්බාධක පනවමින් බලපෑම් එල්ල කිරීමට ඇමෙරිකාවට හෝ කිසිවෙකුට හැකියාවක් නොමැති බවත් යුක්රේනයට ඉදිරියට එයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ජනපති පුටින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.