
නේපාලයේ නිහඬ, සුන්දර කඳුකර නිම්නය හරහා පහළට ආ සුනාමියක් බදු ඒ සැඬ ජල පහර, ගම්මාන, මාර්ග, පාලම් සුනුවිසුනු කරමින් ජීවීත බිලි ගන්නා අයුරු තවත් විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබේ. සොබාදම් මාතාව කොතරම් බිහිසුණුදැයි, සොබාදම් මාතාවගේ වියරුව කොතරම්දැයි එය අපට පසක් කර දෙයි.
මෙම ව්‍යසනයට හේතු වූයේ රික්ටර් මාපකයේ ඒකක 4.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ, භූ චලනයකින් පසු ග්ලැසියර විලක් පිටාර ගැලීම’ (Glacial Lake Outburst Flood - GLOF) යැයි ඇමෙරිකන් භූ විද්‍යාඥයෝ පැහැදිලි කරති. භූ කම්පන තරංග අධ්‍යයනය කිරීමෙන් පසු චන්ද්‍රිකා ඡායාරූප අධ්‍යයනය කිරීමෙන් මේ බව තවත් තහවුරු වී ඇත.
ග්ලැසියරයක් යනු වසර සිය ගණනක් තිස්සේ, යම් ප්‍රදේශයකට ඇදහැලෙන හිම එකිනෙක තෙරපී, අධික පීඩනය නිසා තද අයිස් බවට පත්වීමෙන් නිර්මාණය වන දැවැන්ත හිම ස්කන්ධයක් හෝ අයිස් විලකි. පෘථිවියේ ධ්‍රැවීය කලාපවල පමණක් නොව, අධික උසින් පිහිටි කඳුකර ප්‍රදේශවල ද ග්ලැසියර දැකිය හැක.
ලොව පිරිසුදු පානීය ජලයෙන් සියයට 70 ක් ගබඩා වී ඇති ප්‍රධානතම ස්වාභාවික ජල මූලාශ්‍රය ලෙස මෙම ග්ලැසියර විල් සැලකෙයි. ලෝකයේ පියස්ස ලෙස සැලකෙන ටිබෙටයේත්, නේපාලයේත්, හිමාල කඳුකරයේ, ග්ලැසියර පිහිටා ඇත. ටිබෙටය, නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය, චීනය හරහා ගලා බසින මහා ගංගා ආරම්භ වන්නේ ග්ලැසියරවලිනි. ලෝකය පුරා ඇති මේ ග්ලැසියර, මේ වනවිට අන් කවරදාටත් වඩා වේගයෙන් දියවී යෑමට පටන් ගෙන ඇත. මෙයට හේතුව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑම යැයි විද්‍යාඥයන්ගේ මතයයි.
ග්ලැසියර් අයිස් තට්ටු දියවෙද්දී, ග්ලැසියරයේ ඇති පස් සහ අයිස් බැමි මගින් ස්වභාවික ලෙස කොටු වුණු ජලය සෙමින් සෙමින් ගංගාවලට එක් වෙයි. ‘ග්ලැසියර විලක් පිටාර ගැලීම’ යනු මෙයයි. පසුගිය 26 වැනිදා උදෑසන, හටගත් භූ චලනයෙන් පසු ග්ලාසියර කඩා වැටීමක් සිදුවිය. ග්ලැසියර විලේ මහා ජල කඳ ගංගා දිගේ පහළ නිම්නයට ඇදී ආවේ, පස් තට්ටු සහ මඩ තට්ටු ද සමග සියල්ල විනාශ කරමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd