(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැලිකඩ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසිදු කිරීමට යෙදවූ රැඳවියකු නිවාඩු නිකේතනයේ තිබූ සරමක් ඇද බන්ධනාගාර නියාමක කළමනාකරුගේ යතුරු පැදියෙන් පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ  වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු වන නාත්තන්ඩිය මැදගොඩ පදිංචි  රැඳවියෙකි.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් තිදෙනෙකු එම බන්ධනාගාරයේ නිවාඩු නිකේතනය පිරිසිදු කිරීම සඳහා එහි කළමනාකරු ලෙස සේවය කරන බන්ධනාගාර නියාමකවරයා විසින් යොදවා ඇතැයි පොලිසිය කියයි.

රැඳවියන් විසින් පිරිසුදු කටයුතු සිදු කරමින් සිටින අවස්ථාවේදී පැමිණිකාර බන්ධනාගාර නියාමක කළමනාකරු දිවා ආහාරය ගැනීම සඳහා නිල නිවස වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේදී රැඳවියන් අතර සිටි පලා ගිය සැකකාර රැඳවියා නිවාඩු නිකේතනයේ තිබූ සරමක් ඇද එම නිවාඩු නිකේතනය ඉදිරිපිට සුවිච් යතුර සහිතව නවතා තිබූ පැමිණිලිකාර බන්ධනාගාර නියාමක කළමනාකරුට අයත් යතුරුපැදිය සොරකම් කර ලෙස්ලි රණගල මාවත දෙසට තිබෙන ගේට්ටුවෙන් පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.