(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රුසියානු මුදල් අමාත්‍යංශය සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය සහභාගී වී ඇති අතර එහිදී විශේෂයෙන්ම මෙම අසීරු අවස්ථාවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට එවැනි ණය මාර්ගයක වැදගත්කම අවධාරණය කර ඇත.එම ණය මාර්ගය ලබා ගන්නා ක්‍රියාවලිය සහ ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය සමඟ මෙහිදී  දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.

රුසියානු මුදල් නියෝජ්‍ය අමාත්‍ය මැක්සිමොව් ටිමුර්, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙවාන් ජගර්යාන් ඇතුළු මුදල් අමාත්‍යංශය සහ විදේශ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීහු කිහිපදෙනෙක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.