(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා නව සේවකයෝ සිය  දෙනෙක් අද පත්වීම් ලබාගත්හ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පත්වීම් ප්‍රදානය සිදුකෙරිණි.

කාර්යාංශයේ පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ කරමින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සැපයීමේ අරමුණින් මෙම නව බඳවා ගැනීම් සිදුකර තිබේ.

ඒ අනුව කළමනාකරණ සහකාර, තොරතුරු තාක්ෂණ නිලධාරී, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු සඳහා නව සේවකයින් 100 දෙනෙකු වෙත මෙහිදී පත්වීම් ප්‍රදානය කෙරිණි.

ප්‍රසිද්ධ දැන්වීම් මගින් අයදුම්පත් කැඳවා, අදාළ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතරින් විධිමත් තෝරාගැනීමේ ක්‍රියාවලියක් මගින් මෙම නව සේවකයින් තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විගමණික ශ්‍රමිකයින්, විදේශ රැකියා අපේක්ෂිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු මහජනතාව වෙත සපයන සේවාවන් තවදුරටත් කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් අවශ්‍යතා හඳුනාගනිමින් මෙම බඳවා ගැනීම් සිදුකර තිබේ.

නව සේවකයින් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම දිවයින පුරා පිහිටි පළාත් හා දිස්ත්‍රික් කාර්යාලවල පවතින සේවා අවශ්‍යතා අනුව අනුයුක්ත කිරීමට නියමිතය.