(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස 2022 වසරේ ආරම්භ කළ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ සහ ආර්ථික වර්ධනයේ උපාය මාර්ගික සැලැස්ම වර්තමාන රජය තවදුරටත් අනුගමනය නොකරන බව  පෙනෙන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික දිනූක් කොළඹගේ මහතා පවසයි.

ජාතික ජන බලවේග රජය බලයට පත් වූ මුල් අවධියේදී හිටපු ජනාධිපතිවරයා ආරම්භ කළ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම දිගටම සිදු කළද, එය ආර්ථික වර්ධන සැලැස්ම සමඟ සමගාමීව ක්‍රියාත්මක කිරීමට ඔවුන් දැන් අපොහොසත් වී ඇතැයි දිනුත් කොළඹගේ මහතා පවසයි.

"එම වර්ධන සැලැස්මේ මූලික අරමුණක් වූයේ ශ්‍රී ලංකා රුපියලේ අගය ශක්තිමත් කිරීම සහ උද්ධමනය සියයට 3ට අඩු මට්ටමක පවත්වා ගැනීමයි. නමුත් වර්තමානයේ එය සිදුවන්නේ නැත.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් පවතින අතර, උද්ධමනය සියයට 6 ඉක්මවා ගොස් ඇත. ආර්ථිකයට වර්ධනයක් ගෙන එන කිසිදු නව සැලැස්මක් හඳුන්වා දීමටද ආණ්ඩුව අසමත් වී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ක්‍රියාත්මක වැඩසටහන ආර්ථික ස්ථායීකරණයට පමණක් සීමා වූ, ආර්ථික වර්ධනය සමඟ සම්බන්ධ නොවූ තනි වැඩසටහනක් බවට පත්ව තිබේ.

ආණ්ඩුව පිළිතුරු දිය යුතු මූලික ප්‍රශ්නය වන්නේ, රටේ ණය ආපසු ගෙවීමට මූල්‍යමය වශයෙන් සූදානම් වෙමින්, එකවරම දරිද්‍රතාවය අඩු කරමින්, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නංවන්නේ කෙසේද යන්නය  යනුවෙන්ද දිනුක් කොළඹගේ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.