(නිමල කොඩිතුවක්කු)

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) වැලිකඩ බන්ධනාගාරයට ගියේය.

දූෂණයට මර්දනයට අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව රංජන් රාමනායක මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කීවේය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

තම පක්ෂයේ  තරුණ මන්ත්‍රීවරුන්ගේ මූළිකත්වයෙන් එම ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කලේය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුනපුනා  ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූවත් අද වනතුරු එය ප්‍රායෝගිකව ඉටු ඉටුනොවීම කණගාටුවට කරුණක් බවත්  විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාහිතවාදී මානවවාදී චරිතයක් ලෙස ප්‍රකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

රංජන් රාමනායක මහතා සිරගත ව සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩකිරීමෙන් නොවන බවත් ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවත් විපක්ෂනායකවරයා සදහන් කලේය.

මේ වෙනවිටත් සීනී වංචා, පොල්තෙල් වංචා, ගෑස් වංචා, පොහොර මගඩියට සම්බන්ධ සියලු දෙනා නිදැල්ලේ සිටින බවත් ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ රන්ජන් රාමනායක මහතා පමණක් සිරගතව සිටින බවත් විපක්ෂනායකවරයා  පැවසීය.