(නිමල කොඩිතුවක්කු )

ජනතාහිතවාදී මානවවාදී චරිතයක් ලෙස ප්‍රකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් නැවත වතාවක් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් සමගි ජන බලවේගය  ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද(20) පෙරවරුවේ එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

රංජන් රාමනායක මහතා සිරගත ව සිටින්නේ සොරකම් කිරීමෙන් හෝ අයථා වැඩකිරීමෙන් නොවන බවත් ඒ මහතා නිරන්තරයෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවත් විපක්ෂනායකවරයා කීවේය.

මේ වෙනවිටත් සීනී වංචා, පොල්තෙල් වංචා, ගෑස් වංචා, පොහොර මගඩියට සම්බන්ධ සියලු දෙනා නිදැල්ලේ සිටින බවත් ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ රන්ජන් රාමනායක මහතා පමණක් සිරගතව සිටින බවත් විපක්ෂනායකවරයා  පැවසීය.

අන්තර් පාර්ලිමේන්තු සංගමය පවා රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින බවත්, විපක්ෂය ලෙස තමන් කීප වතාවක්ම රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියත් තවමත් එතුමා සිරගතව සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.