(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල මඩපාත සතොස සුපිරි වෙළඳසලක ඉදිරි  වීදුරු දොරවල්  කඩා ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් එහි තිබූ මත්පැන් බෝතල් තොගයක් සොරාගෙන ගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.

එම අවස්ථාවේ එහි ආරක්ෂක නිලධාරියා සැඟවී බලා සිට ඇතැයි පොලිසිය කියයි.

යකඩ පොලු අතැතිව වෑන් රථයකින් පැමිණ තිබූ පුද්ගලයන් හය දෙනකු පමණ මෙම සොරකම සිදුකර ඇතැයි ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සොරකම සිදු වන අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරියා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදීම හැරෙන්නට සොරකම වැළැක්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව පොලිසිය කියයි.

ඔහු අවම වශයෙන් ඔවුන්ගේ ආරක්ෂක සමාගමට ,එහි උසස් නිලධාරියකුට හෝ අවම වශයෙන් යාබද නිවසකට ගොස් මේ බව දැනුම් දී නොතිබුණු බව උස ස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සොරකම සඳහා පිරිස පැමිණි වෑන් රථයේ ලියාපදිංචි අංකය සොයා ගැනීමට අවට සිසිටිවි කැමරා පරික්ෂා කරන බවත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සොරාගත් මත්පැන් බෝතල් ප්‍රමාණය හෝ එහි වටිනාකම මෙතෙක් ගණනය කර නැත.