
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් 2025 වසරේ රුපියල් බිලියනයකට අධික ප්රතිලාභ ලබාදී තිබේ.
2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා විගමණික ශ්‍රමිකයින් 326,246 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 964.30 ක ආධාර කාර්යාංශය මගින් ලබාදී ඇත.
රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින් වෙනුවෙන් කාර්යාංශය මගින් නොමිලේ රක්ෂණාවරණයක් ලබාදෙනු ලබන අතර, එම රක්ෂණාවරණය ලබාගැනීම සඳහා ශ්‍රමිකයින් 318,209 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 397 ක මුදලක් 2025 වර්ෂයේදී කාර්යාංශය විසින් ගෙවා තිබේ.
එසේම විදේශ ගත ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 1628 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 50.88 ක මුදලක් ශිෂ්‍යාධාර වශයෙන් ගෙවා ඇති අතර, තවත් දරුවන් 4304 දෙනකු වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීම සඳහා රුපියල් මිලියන 50.25 ක මුදලක් කාර්යාංශය මගින් වැය කර ඇත.
මීට අමතරව විදේශ රැකියාව අතරතුරදී සිදුවන මරණ හා රෝගාබාධ වෙනුවෙන්ද, විදේශ රැකියාව අවසන් කර යලි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ස්වයං රැකියාවක් ආරම්භ කිරීමටද, පවුල්වල සාමාජිකයින්ට සෞඛ්‍යාධාර සඳහාද, බහුවිධ ණය යෝජනා ක්‍රමයට හා සේවක සුභසාධක අරමුදල මගින් ගෙවීම් කිරීම වැනි සුභසාධන කටයුතු සඳහා කාර්යාංශය මගින් පසුගිය වර්ෂයේදී මුදල් වැය කර තිබේ.
ඊට අමතරව විදේශ රැකියා වංචාකරුවන්ට හසුවී කාර්යාංශය වෙත පැමිණිලි කරන ලද පුද්ගලයින් වෙනුවෙන් නඩු පවරා රුපියල් මිලියන 374ට අධික මුදලක් යළි අයකරදීමටද කාර්යාංශය පියවර ගෙන ඇත.
මේ අතර, වසර 40ක විදේශ රැකියා ඉතිහාසයේ වැඩිම විදේශ ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරෙදී මෙරටට ලැබුණු අතර, එම ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන 8.07 කි. එය රුපියල් බිලියන 2432 ක අගයක් වන අතර 2024 වර්ෂය හා සැසඳීමේදී මෙය සියයට 22.8ක ඉහළ වර්ධනයකි.
COMMENTS