(අංජුල මහික වීරරත්න)

රීබිල්ඩින් ශ්‍රී ලංකා  ජාතික වැඩපිළිවෙළ පිළිබඳ දැන ගැනීමට අන්තර්ජාල ද්වාරයක් හඳුන්වා දී තිබේ.

www.rebuildingsrilanka.gov.lk නිල වෙබ් අඩවිය කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවති ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙලේදී දියත් කරන ලදී. 

MIT සහ Dialog ආයතනයන්හි යෝජනාවකට අනුව එම ආයතන විසින්ම රජය වෙනුවෙන් www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.

වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන්නේ, රට මුහුණ දුන් ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීම සඳහා ජනතාව, පෞද්ගලික අංශය සහ අන්තර්ජාතික ප්‍රජාව එකම වේදිකාවකට ගෙන එමින් සංවිධානාත්මක හා විශ්වාසදායක ක්‍රියාවලියක් ගොඩනැඟීමයි.

මෙම වෙබ් අඩවිය මගින් දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට  මූල්‍යමය මෙන්ම ද්‍රව්‍ය, ඉඩම් සහ අනෙකුත් සම්පත් පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසා ඇති අතර, එම පරිත්‍යාගශීලීන්ට තම දායකත්වය පිළිබඳ තොරතුරු විනිවිද පෙනෙන ආකාරයෙන් නිරීක්ෂණය කිරීමේ හැකියාවද ලබා දී ඇත. විශේෂයෙන් ‘Rebuilding Sri Lanka’  අරමුදලට බැර වන මූල්‍ය පරිත්‍යාග නිරන්තරයෙන් යාවත්කාලීන කෙරේ. 

තවද, දිස්ත්‍රික්ක අනුව සිදු වූ හානි, තම මුදල් මගින් ක්‍රියාත්මක වන නැවත ගොඩනැඟීම් ව්‍යාපෘති, ඒවායේ ප්‍රගතිය සහ නිල නිවේදන මෙම වෙබ් අඩවිය හරහා මහජනතාවට නිරන්තරයෙන් ලබා ගත හැකි වන අතර, රජයේ වගවීම සහ පාරදෘශ්‍යතාව තහවුරු කිරීමද එහි ප්‍රධාන ලක්ෂණයකි.

මෙම වෙබ් අඩවිය මගින් විනිවිදභාවයෙන් යුතුව පරිත්‍යාග කළමනාකරණය, සමාජ සාධාරණත්වය, තිරසාර සංවර්ධනය සහ වගකීම් සහිත රාජ්‍ය පාලනය යන මූලධර්ම මත පදනම්ව රටේ යටිතල පහසුකම්, ආර්ථිකය සහ ජනජීවිතය නැවත ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ. 

ඒ අනුව, www.rebuildingsrilanka.gov.lk වෙබ් අඩවිය ‘Rebuilding Sri Lanka’ වැඩසටහනේ විශ්වාසනීය තොරතුරු මධ්‍යස්ථානය ලෙස කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය කියයි.