(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ග වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බවද ජනාධිපතිවරයා කීය.

සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල්  දියුණුව උදාකරගෙන ඇත්තේ මිනිස් බලය නිසි ලෙස භාවිතයට ගැනීමෙන් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මහනුවර ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට  එක්වෙමිනි. 

මහල් හතකින් සමන්විත මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය විද්‍යාගාර පහසුකම්, සම්මන්ත්‍රණ ශාලා, පර්යේෂණගාර මෙන්ම නේවාසික පහසුකම්වලින් ද සමන්විතය.

ශීඝ්‍රයෙන්  වර්ධනය වන ඉතා තරගකාරී තාක්ෂණය පදනම් කරගත් ආර්ථිකයක් ඩිජිටල් ආර්ථිකයක් මෙන්ම හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අනාගත වැඩපිළිවෙළ බවද ජනාධිපතිවරයා කීය.