(අංජුල මහික වීරරත්න)

ඉන්ධන අර්බුදය හමුවේ තෙල් නැතුව වාහන අතර මග නවතිද්දී ආණ්ඩුව කිසිවක් සිදු නොවූ ආකාරයට හැසිරීම රටේ අනාගත ආර්ථික ඛේදවාචකයක පෙරමග ලකුණු පෙන්වීමක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (01) ප්‍රකාශ කළේය.

රාත්‍රියට ජනතාව කළුවරේ තබන ආණ්ඩුව දහවලට තෙල් පෝලිම්වල ගාල් කර ඇතැයි කී නියෝජ්‍ය නායකයා ඉන්ධන අර්බුදය හමුවේ ධීවරයන් ඇතුළු බහුතරයක් ජනතාවට තමන්ගේ වෘත්තීන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද කීවේය.

රුසියානු - යුක්රේන අර්බුදය හමුවේ ඇතිවීමට නියමිත ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ලෝකයේ අනෙකුත් රටවල් සැලසුම් සකස් කරද්දී ලංකාව පමණක් එවැනි අර්බුදයක් ඇති නොවන බව සිතමින් කල්මරමින් සිටින්නේ යැයි ද කීවේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළකළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති තරුණ හමුවකට එක්වෙමිනි.