18 වැනි ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුව, හෙට (12) සහ අනිද්දා (13) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී පැවැත්වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකමුතුවය.

සමුළුවට, සහභාගී වීම සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වේලාසනින් නවදිල්ලියට පැමිණියේය. ඔහු පිළිගනු ලැබුවේ දේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං විසිනි.

පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ හමුවක් අද (11) පැවැත්වෙයි. එහිදී ඇමෙරිකන් ඉරාන යුද්ධය, රුසියන් යුක්රේන යුද්ධය පමණක් නොව, ඉන්දියාව සමග කරන වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ද පුටින් සහ මෝදි අතරේ සාකච්ඡා කෙරෙනු ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් ද ‘බ්‍රික්ස්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනාවකට අනුව, ෂී ජින්පින් හෙට (12) සමුළුවට සහභාගී වනු ඇත. චීන ජනාධිපති ෂී ජින්පින් වසර හතකට පසු සිදු කරන ප්‍රථම ඉන්දීය සංචාරය වෙයි.