(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (15) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

අධ්‍යාපන ඇමතිවරයා එහිදී මෙසේද කීය

"අනාගත පරපුර ලෙස අපේ දරුවන් කෙරෙහි විශාල ආයෝජනයක් තැන්පත් කරලා තියෙනවා. එය නෑ කියනවා නම් කවුරු හරි මන්ත්‍රීවරයෙක් තමන්ගේ ගෙදර දරුවන්ටත් තමන් කරන්නේ අපහාසයක් කියලා කියන්න ඕනේ. පාසල් විවෘත කරලා තියෙනවා. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි සෞඛ්‍ය නීති ඉවත් කළේ. ඔක්තෝබර් 1 වනදායින් පස්සේ තමයි පාසල් විවෘත කරන්න පුළුවන් වුණේ. ප්‍රාථමික පන්තිවලින් ආරම්භ වුණේ. 240,000ක් ගුරුවරු ඔක්කෝම එන්නත් කරලා තියෙනවා දෙවරක්. ඒ එන්නත් කරලා තමයි පාසල් පටන් ගත්තේ. ඒ නිසා අපිට පාසල් අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනෙකුත් ශ්‍රේණී පාසල්වල ආරම්භ කරනවා කථානායකතුමනි. ඒ නිසා අපි කවුරුත් සතුටු වෙන්න ඕනේ මේ දොරවැස්මෙන් පස්සේ පාසල් විවෘත කරන්න හැකිවීම ගැන."