( +++ රංජන් කස්තුරි සහ නාලක දහනායක)
රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්‍ර ලේඛයක් නිකුත්කර ඇත.
විදේශ රාජ්‍යයන් හෝ විදේශ ආයතන සමග ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ බලය මින් ඉදිරියට විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වෙත පැවැරෙන බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
ඉකුත් කාලයේදී රාජ්‍ය ආයතන විදේශ ආයෝජකයන්, ණය දෙන ආයතන, විදේශ සංවිධාන සහ දූත මණ්ඩල සමග සම්බන්ධ වෙමින් විවිධ මූල්‍ය වැඩසටහන්, ණය ලබා ගැනීම් සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති අතර ඉන් බොහෝ ගැටලු ඇති වී තිබෙන බව ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
එලෙසින් එළැඹි බොහෝ ද්විපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය ගිවිසුම් මෙන්ම අවබෝධතා ගිවිසුම් නිසි අවශ්‍යතා ඇගැයීමකින් සහ ප්‍රමාණවත් පරිදි පූර්ව සූදානමකින් තොරව දුර්වල ලෙස සකසා ඇතැයි ද මේ හේතුවෙන් එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී නීතිමය බාධක ඇතුළු බහුවිධ දුෂ්කරතා රැසක් පැන නැගී ඇතැයි ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙවැනි දුර්වලතා සහිත ගිවිසුම් නිසා විශ්වාසය පළුදුවීම්, පාර්ශ්වයන් අතර සදොස් වැටහීම්, නීතිමය ආරවුල්, කීර්තිනාමයට හානි වීම් සිදු වී විවිධ අක්‍රමිකතාවන්ට පවා හේතු වී ඇතැයි ද එහි සඳහන් වේ.
ඒ අනුව මින් ඉදිරියට ආයෝජන ව්‍යාපෘති සඳහා වන යෝජනාව, මූල්‍ය යෝජනා හෝ ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය වශයෙන් ප්‍රදානය කෙරෙන ආධාර, විදේශ ණය, අරමුදල් සම්පාදනය කිරීම, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමක් වන බව ද එම චක්‍රල්ඛයේ දැක්වේ.
දැනටමත් අත්සන් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම් හා අත්සන් කිරීමට ඇති ගිවිසුම් පිළිබඳව සවිස්තාරාත්මක ලයිස්තුවක් සකස් කර විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය වෙත යොමුකර නිසි මඟ පෙන්වීමක් ලබා ගන්නා ලෙස ජනාධිපති ලේකම්වරයාගේ එම චක්‍රලේඛයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.
ඉහත ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් තොරව, නීතිපතිගේ පූර්ව අනුමැතිය, අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගැනීමකින් තොරව විදේශ රටවල් හෝ විදේශ ආයතන සමඟ කිසිදු බැඳීමක් ඇතිකර නොගත යුතු බව ද එම චක්‍රලේඛයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වැදගත් ඉතාමත් කාලෝචිත නියෝගයක්. විශේෂයෙන් අපි දැක්ක උතුරු පළාත් සභාවත්, නැගෙනහිර පළාත් සභාවත් රටට අහිතකර ගිවිසුම්වලට අත්තනෝමතිකව එළැඹිලා රටට ප්‍රශ්න ඇතිකළ හැටි. මේ ලෝකේ පවතින්නේවත් නැති, කඩදාසිවලට පමණක් සීමාවූ "විදේශීය ආයතන" යයි කියාගත් හොර තක්කඩින් සමග ගහපු ගිවිසුම් හින්දා අදටත් ප්‍රශ්න... කොහොමත් අමාත්‍යංශ දෙපාර්තමේන්තුවලට වඩා පලා බබාලා තමයි මේ වැඩේ කරන්නේ.
ඉතාමත් හොද වැඩක්.
හැම එකටම මේ වහල්ලු කාලෝචිත යෝජනාවක්.., හොඳ යෝජනාවක්... ජනාධිපතිතුමාගේ හොඳවැඩක් ගගා මෙලෝ අවබෝධයකින් තොරව කඩේයනවා. මේක හොඳ යෝජනාවක් වෙන්නේ කොහොමද? මේකෙන් වෙන්නේ ආයෝජකයන්, විදේශ ණය සම්පත් ආදිය නැතිවෙන එක මිසක් ලැබෙන එක නෙමෙයිනේ... මේකෙන් අධීක්ෂණය කෙරුණත් වෙන්නේ තවත් නිලධාරි වාදයකට යටවෙන එකයි, ඉහළින්ම වංචා, දූෂණ ඇතිවෙන්න හේතුවෙන එක විතරයි. රටක් අලුතෙන් පාලනය කරන්න ආණ්ඩු පත්වුණු පලියට සියලු දේ වෙනස් කරන්න යන්නේ නැහැ. ඒවාට නීතිරීති තියෙනවා.
ඉතාම වැදගත් හා කාලෝචිත තීරණයක්.
මේක වැදගත් තීරණයක්. රටේ සියලු රජයේ ආයතන ක්‍රියාකළ යුත්තේ රජයේ පොදු ප්‍රතිපත්තියකට මිස එක එක විදෙස් ආයතනවල වුවමනාවන්ට සහ න්‍යාය පත්‍රයන්ට අනුව නොවෙයි.
සමන්ත වගේ අන්තවාදී අය ලංකාවේ ඉන්නකන් දියුනුකරන්න අමාරුයි. රටක විදේශ ප්‍රතිපත්තියක් තියනවා මේක ප්‍රාන්ත රජයක් නොවේ