(සුජිත් හේවාජූලිගේ)

යළ කන්නයට අවශ්‍ය පොහොර නියමිත කාලයේදීම ගොවි ජනතාවට ලබා දීමට පියවර ගන්නැයි ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පොහොර කාර්ය සාධක බළකාය ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

විවිධ තාක්ෂණ ක්‍රම යොදා ගනිමින් දේශීයව කාබනික පොහොර වර්ග  භාවිතය පිළිබඳ ගොවීන් නිසි ලෙස දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිවරයා ඒ සඳහා පොහොර කාර්ය සාධක බළකායේ නිලධාරීන් යොදාගත යුතු බව මෙහිදි අවධාරණය කළේය.

කාබනික පොහොර භාවිතය පිළිබඳ නිසි ලෙස දැනුම්වත් නොකිරීම පසුගිය කන්නයේ දී ඇතැම් ගොවීන් අසාර්ථකවීමට හේතු වී ඇතැයි ද එහිදි සාකච්චාවට බඳන් විය.

මෙවර එම අඩු පාඩු මගහරවා ගනිමින් කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් මගින් ගොවි ජනතාව නිසි අයුරින් දැනුම්වත් කළ යුතු බවත්  අදාළ සියලුදෙනා දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට සහභාගී වීම අනිවාර්ය කළ යුතු බවට ජනාධිපතිවයා උපදෙස් දුන්නේය.

කුමන හේතුවක් මත හෝ ගොවියාගේ ආදායම අඩු වීමට ඉඩ නොතබන ලෙසත් ගොවි ජනතාව තුළ විශ්වාසය තහවුරු කරන ලෙසත් නිලධාරීන් දැනුම්වත් කළ අතර කාබනික වගාවන්ට යොමුවීමට ගොවීන් මැලිකමක් දැක්වීම කෙරෙහි විවිධ කාල වකවානුවල ලද අසාර්ථක අත්දැකීම් බලපා ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි සඳහන් කළේය .