(මනෝප්‍රිය ගුණසේකර)

රුපියල් කෝටි 7 ලක්‍ෂ 30කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 10 වැනිදා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියම කළේය.

රුපියල් කෝටි 7 ලක්‍ෂ 30කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීථීඥවරයා කරුණු දක්වමින් විත්තිකරු කොළඹ මහාධිකරණයේ අංක 10 උසාවියේ විභාග කරන වෙනත් නඩුවක පෙනී සිටින්නේ යැයි පැවසීය.

එමෙන්ම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතාගේ නැන්දම්මා මියගොස් ඇති හෙයින් ජනාධිපති නීතීඥ  මෙන්ඩිස් මහතාට නඩු විභාගය සඳහා අද දින පැමිණිමේ හැකියාවක් නැතැයිද කී නීතීඥවරයා මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් දමන්නැයි ඉල්ලා සිටියේය.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා තමන්ද කතාකර නඩු විභාගය සඳහා අද දින පැමිණිමේ හැකියාවක් නැති බව දැනුම් දුන්නේ යැයිද උද්ගතිව ඇති තත්වය මත නඩු විභාගය වෙනත් දිනයකට කල් තැබීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරුද්ධත්වත් නැතැයිද කීය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සැප්තැම්බර් 10 වැනිදාට දක්වා කල් තැබු විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණීල්ලේ සාක්කිකරුවන්ට අවවාද කළේය.