(ජේ.කේ.එල්. චාමින්ද)

යක්කලමුල්ල මා ගෙදර කරුවලගල ප්‍රදේශයේ කුරුදු වාඩියක සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සිව් හැවිරිදි දරුවකු හා තවත් අයකු  තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

මියගොස් ඇත්තේ කුරුඳු වාඩිය තුළ කුරුදු තලමින් සිටි වෙඩික්කරැගේ සමන් කුමාර (33)නැමැති අයෙකි. ඌරගහ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි තිදෙනකු විසින් ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයා උරගහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මිනීමැරුම් නඩුවක සැකකරුවකු බව පොලිසිය පවසයි. මොහු යක්කලමුල්ල කරැවලගල ප්‍රදේශයේ කාන්තාවක් සමග විවාහ වී ඇත.

කුරුඳු තැලීම සඳහා මොහු පැමිණ ඇති අතර අසල නිවසක කුරුදු තලමින් සිට ඇත. එම අවස්ථාවේදී යතුරුපැදියෙන් පැමිණි තිදෙනා මොහුට වෙඩි තබා ඇත .ඒ අසල සිටි සිව් හැවිරිදි දරුවකුට සහ තිස් වියේ පසුවූ අයකුට වැදි වැදී ඇති බව පොලිසිය පවසයි. සිව්හැවිරිදි දරුවාගේ උදරයට වෙඩි වැදී ඇත. 

එම දරුවාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.දරුවා ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අනිත් පුද්ගලයාගේ පාදවලට වෙඩි වැදී ඇති බව ද පොලිසිය පවසයි .පාතාල කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

යතුරු පැදියෙන් පැමිණි තිදෙනා මෙම වෙඩි තැබීමෙන් පසු මාර්ගයේ ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු බියවද්දා ඔහුගේ යතුරු පැදියක් රැගෙන පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ දෙකක් සොයා ගත් බවද පොලිසිය පවසයි. යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි .