(රංජිත් කරුණාවීර)

මහියංගන අධ්‍යාපන කලාපයේ පාසල් 37ක විදුහල්පති රාජකාරී ආවරණය කරන විදුහල්පතිවරුන් සිය රාජකාරි වලින් ඉවත් වන බවට ලිඛිතව මහියංගන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පුබුදු ජයසිංහ මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔවුහු ඉකුත් 18 වැනි දින සිට  විදුහල්පති රාජකාරි ආවරණයෙන් බැහැර වී සිටිති.

මහියංගනයේ පාසල් 37 ක ගුරු භවතුන්ට 20 වැනි දින සිට වැටුප් ලබා ගැනීමටද අවස්ථාවක් නොලැබේ.

රාජකාරී ආවරණයේ යෙදෙන විදුහල්පතිවරුන්ට ගෙවන ලද විදුහල්පති දීමනාව නොගෙවීමටත්, ගෙවන ලද මුදල යළි අය කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්  නිකුත් කරනු ලැබූ  ලිපියට අනුව කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස මෙම රාජකාරී ආවරණයේ යෙදෙන විදුහල්පතිවරුන් රාජකාරියෙන් ඉවත්වීමට පියවර ගත් බව ඔවුහු කියති.

විදුහල්පති ධුරයේ රාජකාරිය ආවරණය සඳහා ඔවුන් පත් කරනු ලැබ ඇත්තේ හිටපු විදුහල්පතිවරයා විශ්‍රාම යෑම හෝ ස්ථාන මාරුවී යාමේදී පාසලේ සිටින ජ්‍යෙෂ්ඨතම ගුරුවරයාට වැඩ භාරදී යන ලෙසට ඉහළ නිලධාරීන් කරනු ලබන නියෝගයන්ට අනුව බව ඔවුහු පවසති.