(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළහොත් ඒ පිළිබඳව කල්පනා කර බලන්නේ යැයි ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරක රොෂාන් මහානාම මහතා පවසයි.

ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගන්නා ලෙස මීට මාස තුන හතරකට පෙර ආරාධනාවක් ලැබුණත් ඒ අවස්ථාව ඒ සඳහා හොඳ මොහොත නොවන බව  කී මහානාම මහතා එය භාරගත යුතුද නැද්ද යන්න පිළිබඳව තීරණය ගැනීමට කාලය අවශ්‍ය වූ බව ද සඳහන් කළේය.

ක්‍රීඩකයන් සමඟ විවේකාගාරය තුළ පසුගිය අවුරුදු කීපය තුළ කටයුතු කර නොමැති වීම නිසා තමන්ගේ අඩු පාඩුවක් තිබූ බව කී මහනාම මහතා සඳහන් කළේ ඒ සඳහා කණ්ඩායමක් අවශ්‍ය නිසා කාලය ලබාගත් බවය.

තමන් පුහුණුකරු වූ පමණින් සියලුම ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගකීම් ඇති බවත් එසේ නොවුණොත් තමා පත්කිරීම ද තාවකාලික විසඳුමක් බවට පත්වන බවත් ඒ මහතා කීය.

ප්‍රධාන පුහුණුකරු ලෙස තමන් පත්කර ප්‍රශ්න වසාගත නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

රෝෂාන් මහනාම මහතාගේ චරිතාපදාන කෘතිය වන ‘වේදනාත්මක සමුගැනීමෙන් යළි තීරක ලෙස පිටියට’ යන කෘතිය එළිදැක්වීමේ උළෙලේදී ඒ මහතා එසේ පැවසීය.