(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (24) සිය රාජකාරී ඇරැඹීය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත් කරනු ලැබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපතිවරයා වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ඇත.

මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1994 වසරේ 1999 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද සේවය කළ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහු 2005 වසරේදී දේශමාන්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලැබීය.