( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙසත් , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (01) රිට් පෙත්සමක් ගොනු කරිණි.
ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපති ඇතුළු නවදෙනකු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු සිය පෙත්සම මගින් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යනු අධිකරණය මෙන් ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් බවත් , ඊට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිසිදු දේශපාලනඥයකුට බලයක් නොමැති බව ය.
එසේම එවැනි නියෝග පිළිපැදීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍යානුකූලව බැඳී නොමැති බවද පෙත්සම්කරු සිය පෙත්සමේ වැඩිදුරටත් සදහන් කර ඇත.
එමෙන්ම වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම මුදල් මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇති බවත් ,එය මුළුමනින්ම නීතියට පටහැනි යැයි ද පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද , ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිසිදු දේශපාලකයකු විසින් දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බැඳී නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා සිටී.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එහි මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් එවැනි විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින්ට තිබෙන නීතිමය බලය කුමක්දැයි පැහැදිලි කරන නියෝගයක් වගඋත්තරකරුවන්ට නිකුත් ලෙස ද පෙත්සම්කාර එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා සිය පෙත්සම මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් මණ්ඩලයේත් ප්‍රධානියා මහබැංකු අධිපතිය... ඉතිරි ටික තේරුම් ගැනීම ඔබ සතුය.
රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප ඉතා අඩු ගණනකි. එයත් කැපීමට සමහර ඇමතිලා අදහස් පළකරති... නමුත්, මේ අවස්ථාවේදීවත් කබ්රාල්ට විශාල විශ්‍රාම පඩියක් ගෙවිය යුතුද? ඔහු දැනටත් විශාල පඩියක්, දීමනා සහ වරප්‍රසාද භුක්ති විඳිමින් සිටියි. සාමාන්‍ය ජනතාවට කිසිම ආදර්ශයක් මොවුන් දෙන්නේ නැහැ. කොහොම හරි එකතු කරගන්නයි අවශ්‍ය. මෙහි ඉපදුණු අප මෙතරම් පව්කාරයින්ද?