(විමුක්ති එස් රුද්‍රිගූ)

දැඩි අවදානම් තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් සහ ටූනා කෑන් පෙට්ටි 25,000 ක් ශ්‍රී ලංකාවට ආධාර ලෙස ලබාදෙන බව මාලදිවයින් රජය අද (29) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩා විඳ ශ්‍රී ලාංකිකයන් සඳහා මාලදිවයින් ජනතාව වෙනුවෙන් මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන බව මාලදිවයින් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සමීප අසල්වැසියෙක් වන ශ්‍රී ලංකාව මෙන්ම මිත්‍රශීලී ශ්‍රී ලාංකිකයන් සමඟ මාලදිවයිනේ සහයෝගීතාව මෙම ආධාරයෙන් පෙන්නුම් කරන බව ද එරට රජය ප්‍රකාශ කළේය.

විපතට පත් ජනතාවට පිහිටවීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහයට මෙම ආධාරය සහයක් වනු ඇතැයි බලාපොරොත්තු වන බවද මාලදිවීන් රජය ප්‍රකාශ කළේය.

දෙරට අතර ඇති ගැඹුරු මිත්‍රත්වය මින් මනාව පිළිබිඹුවන බවද මාලදිවයින් රජය පැවසුවේය.