(ඉන්දිකා  රාමනායක)

කැපුම් තුවාල සහිතව වැල්ලවත්ත  මුහුදු තීරයේ තිබියදී පසුගිය  සොයාගත්  මාලදිවයින් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා  මාලදිවයින් පොලිසියේ නිලධාරීන් දෙදෙනකු  මෙරටට පැමිණ ඇති බව  පොලිසිය කියයි.

මෙම තරුණයාගේ මරණය  සම්බන්ධයෙන් දැනට කරන ලද පරීක්ෂණ  අනුව ඔහු  පිහියෙන් ඇන ගෙන  සියදිවි හානි කරගෙන ඇති බවට සැක කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම   මාලිදිවයින් ජාතික තරුණයාගේ මළ සිරුර අසල  වැටී තිබි සොයා ගත් පිහිය  ඔහුගේ නැවතී  සිටි  දෙහිවල ඇන්ඩර්සන්  පාරේ නිවසේ  තිබු  පිහියක් බවට    එම තරුණයා සමග එහි නවාතැන්ගෙන  සිටින    ඔහුගේ මිතුරා වන මාලදිවයින් ජාතිකයකු විසින් හදුනාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
මියගිය තරුණයා අධික මත්පැන් හා ගංජා පානයට ඇබ්බැහි ව සිටින පුද්ගලයකු බවත්, ඔහු  ඉකුත් 4 දින රාත්‍රියේ   නිවසේ සිට මත්පැන් පානය කර පෙම්වතිය හමුවීම සදහා යන බව මිතුරාට පවසා නිවසින් පිටත්ව ගොස් ඇති බවත්, එදින ඔහු නිවසට  පැමිණ නොමැති බවද පොලිසිය පවසයි.

එදින රාත්‍රියේ  ඔහු  සිය මිතුරාට කතා කර  මව්පියන් ඔහුට වියදමට මුදල්  එවන්නේ නැති බවට නොයෙක් දුක්මුසු කථා   පවසමින්  අඩමින්  ඇමැතුමක් ලබාදුන්  බව ඔහුගේ  මිතුරා පොලිස් ප්‍රශ්න කිරීම්  හමුවේ ප්‍රකාශ කර ඇත.

එම තරුණයාගේ මළ සිරුර  වැල්ලවත්ත වෙරළතීරයේ  තිබී  පොලිසිය පසුදින (5) දහවල්  සොයාගෙන ඇත.

මෙම තරුණයාගේ  පශ්චාත් මරණ පරීක්ෂණ හෙට (9)  කළුබෝවිල  රෝහලේ   පැවැත්වීමට නියමිත අතර  පශ්චාත් මරණ  පරීක්ෂණයෙන් අනතුරුව මෙය  ඝාතනයක් ද නැතහොත්  නැතහොත්  සියදිවි නාසාගැනීමක් ද යන්න  නිශ්චිත වශයෙන්  අනාවරණය කර ගත හැකි බවද   පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.