(අංජුල මහික වීරරත්න)

රටේ තිබෙන එකම ජාතික සම්පත මිනිස් සම්පත වන හෙයින් එම සම්පතට හොඳ අනාගතයක් හැදීම ආණ්ඩුවේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටක ජාතික සම්පත යකඩ,සිමෙන්ති හෝ යන්ත්‍ර සුත්‍ර නොවන බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තරුණ පරපුර අද රට හැර යාමට පෙළ ගැසී සිටින අතර එම ජාතික සම්පත ආරක්ෂා කර දියුණු කිරීමට රජය පියවර ගත යුතු බවද සඳහන් කළේය.

දියුණු රටක් බවට පත්වීම සඳහා ඉදිරි වසර විස්ස ඇතුලත රටේ දළ දේශිය නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි කර ගත යුතුයැයි ද රටේ ආර්ථික ස්ථාවර බව ඇති කිරීමට නම් කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු යැයිද වික්‍රමසිංහ මහතා පැවසීය.

තව වසර දහයකින් විශ්‍රාම වැටුප් ගෙවීමට රටට මුදල් නැති වන බවත් රටේ තිබෙන මූලික ප්‍රශ්නය ඩොලර් නැති කම වන අතර බොල් ණය නිසා බැංකු කඩාගෙන වැටීමට ඉඩ තිබෙන බව ද කීය .

උසස් අධ්‍යාපනය ලබන සිසුන් සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර පැවති සංවාදයක් අතරතුර දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.