(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රී තාරක බාලසූරියගේ නිවසට සහ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියගේ නිවසට මෙන්ම ජාතික රූපවාහිනියට සහ තවලම ප්‍රාදේශීය සභාවේ කැබ් රථයකට පහරදී අලාභානි කළ පුද්ගලයන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පැවසීය.

මන්ත්‍රී තාරක බාලසූරිය මහතාගේ කෑගල්ල බන්ඩාරනායක මාවතේ නිවසට ඉකුත් මැයි 9 වෙනි දින  පහර දී දේපළවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස විමර්ශන නිලධාරීන් විසින් කෑගල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති අතර, ගීතා කුමාරසිංහ මහත්මියගේ රාජගිරිය නාවල පාර නිවසට ඇතුළු වී දේපළවලට අලාභානි කිරීම සම්බන්ධයෙන් වැලිකඩ මාලිගාව පාර ප්‍රදේශයේ දී පුද්ගලයකු වැලිකඩ පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

තවද මැයි නම වෙනි දින තවලම 8 කණුව ඉදිරිපිට මාර්ගයේ දී තවලම ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථයකට පහර දී අලාභහානි කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසිය මගින් පැලවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

ඊට අමතරව ඉකුත් ජුලි 13 වෙනි දින ජාතික රූපවාහිනී සංස්ථාවට ඇතුළුවී සේවකයන් බියගන්වා රජයේ දේපළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසියට භාරදීමෙන් අනතුරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ,46 , 48 , හා 51 පසුවන කෑගල්ල මීපිටිය, රාජගිරිය,මොරටුව හා ඇතුල් කෝට්ටේ පදිංචිකරුවන් ය.