(මනෝප්‍රිය ගුණසේකර)

ලංකා පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කටයුත්තට අනුමැතිය දීමේදී ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි අන්දමින් අනුගමනය කළ බව තමන්ට ඉදිරිපත් වූ ලේඛණ පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වූවත් කොන්ත්‍රාත්තුව ගත් සමාගම කාපට් ඇතිරීමක් නොකළ බව ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහේවා මහතා කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ සාක්කි දෙමින් අද (07) පැවසීය.

ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී වසර 10කට පෙර රජයට රුපියල් ලක්‍ෂ 88 1/2ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණීල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනිගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් එසේ කී බුද්ධික රුවන් මඩිහේවා මහතා කාපට් ඇතිරීමක් නොකිරීම හේතූවෙන් සමාගමේ අත්තිකාරම් ඇපකරය යටතේ රුපියල් ලක්‍ෂ 22කට අධික මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කෙරුණු බවත් පැවසීය.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් සේවය කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපයිල් 8859708/-ක පාඩුවක් කළ බවට අල්ලස් හෝ දුෂණ චෝදනා පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමැති වරද කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් අසිත ඇන්තනී මහතාගේ මෙහෙයවීම යටතේ ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහේවා මහතා සාක්කි දුන්නේය.

ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා 2014 වසරේදී ලංසුකරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළ බවත් ඒ වනවිට ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කළේ මෙම නඩුවේ විත්තිකරු වශයෙන් නම් කර සිටින කුමාර ජයකොඩි මහතා බවත් කීය.

ආරම්භ කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගමනය කරමින් කාපට් ඇතිරීම සඳහා ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති සමාගම තෝරා ගත් බවත් කාපට් ඇතිරීම සඳහා අත්තිකාරම් වශයෙන් රුපියල් 88,59,708/-ක මුදලක් ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් සමාගමට ගෙවීමට කටයුතු කළ බවත් කී මඩිහේවා මහතා අනුමැතිය දීම සඳහා ප්‍රසම්පාදන අංශය සහ මුදල් අංශය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි පරිදි අනුගමනය කර බව තමන්ට ඉදිරිපත් කළ ලේඛණ පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වූ හෙයින් අදාළ මුදල ගෙවීමට තමන් අනුමැතිය දුන් බවත් පැවසීය.