(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ සභාපති ධුරයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික තීරණයෙන් අද (8) නැවත  වතාවක් පත් කෙරිණ.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මුදල්  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හෙබවූයේද  අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (8) පෙරවරුවේ පැවැත්විණ. මෙම පත්කිරීම කෙරුණේ ඒ රැස්වීමේදීය.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා එම තනතුර බාර නොගැනීමට තීරණය කර තිබුණද බහුතර මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව  එම තීරණය වෙනස් කිරීමට සිදුවූ බවයි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා) සභාපතිවරුන් පත්කිරීමද ඉදිරි දිනවල සිදු කිරීමට නියමිතය .

එම කාරක සභාවලටද හිටපු සභාපතිවරුන්ම පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.