(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා පත් කෙරුණු විශේෂ කාරක සභාව ලබන  20 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇතැයි  එම කාරක සභාවේ ලේකම්  සහ  පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.

විශේෂ කාරක සභාවට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව එදින සලකා බැලීමට අපේක්ෂා කරන බවද  ඇය සඳහන් කළාය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන  සියයකට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයන්ගෙන්   දැනට  අදහස් හා යෝජනා ලබාගෙන ඇත.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිල කාලයද පසුගියදා මාස දෙකකින් දීර්ඝ කෙරිණ.  ඒ එහි  කටයුතු අවසන් කිරීම සඳහා  කාලය ප්‍රමාණවත් නොවීම සැලකිල්ලට ගෙනය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය ජනාධිපතිවරයා විසින් අවසන් කරනු ලැබීමත් සමග එහි කමිටු හතළිහකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සතියේ අහෝසිවී ගියේය. එහෙත් පාර්ලිමේන්තු විශේෂ කාරක  සභාවල කටයුතු එවැනි තත්වයකදී වුව ස්ථාවර නියෝග අනුව  අහෝසිවී නොයන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.