(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දුම්වැටි හා මත්පැන්වලින් ආණ්ඩුව උපයන මුදලමෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව  සෞඛ්‍යය විශේෂඥයෝ පිරිසක්  රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර  මුලිනුපුටා දැමීම සඳහා  නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව  හමුවේ පැවසූහ.

මේ අතර මාධ්‍ය මඟින් දුම්වැටි හා මත්පැන් ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම සඳහා මෙම  කාරක සභාවේ අවධානය මෙහිදී යොමුවිය.

මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා මන්ත්‍රීවරුන් 225 දෙනාගේම අත්සනින් යුතු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යෝජනා කළේය.

දුම්වැටි හා මත්පැන් අලෙවියෙන් ආණ්ඩුවට ලැබෙන බදු ප්‍රමාණයන් ගැන පැහැදිලි කිරීමක් අවශ්‍ය හෙයින් නිලධාරීන් කැඳවීමට විශේෂ කාරක සභාව තීරණය කළේය.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති මහජන ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.