(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් මාළු විෂවීමෙන් දැඩි ලෙස රෝගාතුරවීම නිසා නාරාහෙන්පිට පොලිස් රෝහලට ඊයේ(22)දහවල් ඇතුළත් කරනු ලැබ සිටිති.

දැඩි ලෙස රෝගාතුර වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව දෙදෙනා ගිලන් රථයකින් රෝහල කරා රැගෙන යනු ලැබූහ.

නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් සේලයින් පවා ලබාදී ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ තනිකඩ නිවස්නයට එහි ආපනශාලා අංශයෙන් ඊයේ දහවල් සපයා තිබූ මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව නිලධාරීන් දෙදෙනා මෙසේ අසාධ්‍ය තත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිසියට ලබාදුන් මාළු නරක් වී ඇති බව දැනගන්නට ලැබීමෙන් පසු ආපනශාලා අංශය එම මාළු ඉවත්කර දිවා ආහාරය සඳහා සැමන් පිළියෙළ කර තිබෙන බව වාර්තාවේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ සමහර අංශ වලට ඊයේ දවල් ආහාර සැපයීමද ප්‍රමාදවිය.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට පැමිණිලි කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඊයේම ආරම්භ කළේය.