(පැතුම් දර්ශන)

අනුරාධපුර - ත්‍රිකුණාමලය මාර්ගයේ  මරදන්කඩවල  දී  මෝටර් රථයක් වැලි පැටවු ටිපර් රථයකට යටවී සිදු වූ අනතුරකින් එම මෝටර් රථය පැද වූ පියතුමකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය, මධ්‍යම පාර,අයේෂ ලිපිනයෙහි වාසය කළ ගනේෂ පිල්ලේ නිතිදාසන් නැමැති හතළිස් නව හැවිරිදි පියතුමෙකි.

මියගිය පියතුමා වවුනියාව ප්‍රදේශයේ සිට ත්‍රිකුණාමලය දක්වා මෝටර් රථයෙන් ගමන් කොට ඇති බව පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ පියතුමා පමණක් මෝටර් රථය තුල සිට ඇති බවත් ඔහු විසින් රථය පදවා ඇති බවත් පොලිසිය පවසයි.

අනතුරෙන් මියගිය පියතුමා බේරා ගැනීම සඳහා සුවසැරිය ගිලන් රථය ද එම ස්ථානයට ගෙන්වා ඇති අතර ටිපර් රථයට යට වූ මෝටර් රථය එළියට ගැනීමට පොලීසිය සහ ප්‍රදේශවාසීන් පැයකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දැරුවත් එළියට ගන්නා විට ඔහු මියගොස් සිටි බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.