(සුජිත් හේවාජුලිගේ )

මීගමුව බන්ධනාගාරයේ නියමිත ධාරිතාව 650ක් වුවද එහි රැඳවියන් 2600කට ආසන්න පිරිසක් රඳවා සිටින බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පවසයි.

බන්ධනාගාරවල ධාරිතාව ඉක්මවා රැඳවියන් සිටින විට එවැනි නොසන්සුන්තා ඇතිවන බවට විවිධ කොමිෂන් වාර්තාවල සඳහන් වුවද, ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද ඔහු චෝදනා කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 2417 දෙනෙකු සිටින බවයි.

එම ගැටුම පාලනය කර ඇති බව කී ගජනායක මහතා එය බන්ධනාගාර නිලධාරීන්ට සම්බන්ධ සිදුවීමක් නොව රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් බව ද කීය.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ තොරතුරු හෙළි කිරීම මෙම ගැටුමට හේතු වන්නට ඇතැයි සැක කෙරේ.

තවද රැඳවියන් පිරිසක් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් කිහිපයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලබාදී ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණ ගන්නා බවද ඔහු සඳහන් කළේය.