
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම ඛේදවාචකයක් මෙන්ම නොවිය යුතු දෙයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
හර්ෂණ නානායක්කාර මහතා මෙසේද පැවසීය
නිලධාරීන් හත් දෙනෙකු සහ රැඳවියන් දහනව දෙනෙක් මිය ගොස් තිබෙනවා. මුලින්ම ඒ පවුල්වලට මම ශෝකය පුද කරනවා. බන්ධනාගාර නිලධාරීන් විසි තුනක් සහ රැඳවියන් පනස් හතරක් තුවාල ලබා තිබෙනවා. ඒ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මෙය නොවිය යුතු සිද්ධියක්. ඛේදවාචකයක්.
මම අපේ රජය මේ සිද්ධිය අවතක්සේරු කරන්නේ නැහැ. සුළුවෙන් තකන්නේත් නැහැ. අපි රජයක් වශයෙන් ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද. ඉස්සෙල්ලම කරන්න ඕන මෙවැනි දේවල් නැවත නොවෙන ආකාරයට වැඩපිළිවෙලක් සකස් කිරීම.
මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරලා තියෙනවා. මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරනවා. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන් අභ්‍යන්තර විමර්ශනයක් පවත්වනවා. බන්ධනාගාරයේ සියලුම උසස් නිලධාරීන් හෙට මම කැඳවලා තියෙනවා. මෙවැනි දේවල් අනෙක් සිරගෙවල්වල වලක්වන්නේ කොහොමද කියන එක සොයා බලනවා. අමාත්‍යවරයා විදියට මම මේකෙ වගකීම බාරගෙන වුවමනාවෙන් කටයුතු කරනවා.
මනුස්ස ජීවිත මේ විදිහට නාස්ති වෙන්න දෙන්න බැහැ. මේක රැඳවියන් සහ කාර්ය මණ්ඩලය අතර ගැටුමක් නෙවෙයි. මුලින් සිද්ධියේදී 35ක් තුවාල ලබනවා. දෙන්නෙක් මිය යනවා. පස්සේ ඒක සමථ වෙනවා. ඊට පසු දින උදෑසන 06 හයවෙනිදා ක්ෂණයෙන් දෙපාර්ශවය අතර ගැටුමක් නිර්මාණය වෙනවා. ගැටුම එන්නේ පාතාලයට කුඩුවලට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර. ඇතුළට එන නීති විරෝධී ද්‍රව්‍ය නවත්තන්න අපි නීති රීති භාවිතා කරනවා. කළමනාකරණයට තොරතුරු දෙන අය තමයි මුලින්ම ප්‍රහාරයට ලක්වන්නේ. මම මේ කියන්නේ මට ලැබී ඇති නිශ්චිත තොරතුරු පමණයි.
මොවුන් ප්‍රහාර එල්ල කරලා සීසීවී කැමරා කඩනවා. හැමෝම නෙවෙයි. ඊට පස්සේ ශරීර පරීක්ෂා කරන උපකරණය කඩා දානවා. බන්ධනාගාරය ඇතුළට නීති විරෝධී ද්‍රව්‍ය එන එක නවත්වන්න මේ අයගේ උවමනාව තිබුණා කියන එක පේනවා. නිලධාරීන්ට පහර දෙන කොට අනෙක් නිලධාරීන් බේරන්න ගියා. නිලධාරීන් අමානුෂික ප්රහාරයන්ට ලක්වුණා ගඩොල් පොලු වලින් පවා. ඒක මර්දනය කරන්න කටයුතු කරපු නිලධාරීන්ට අපේ ගෞරවය තියෙනවා. පස්සේ මේ අය යකඩ ගේට්ටුව කඩාගෙන ලී දොර ළඟට එනවා. මේ අය අතට ආයුධ දෙක තුනක් ඇවිල්ලා තියෙනවා. ඒක කොහොමද ආවේ කියන එක අපි හොයනවා. පස්සෙ තත්ත්වය පාලනය කරන්න නිලධාරීන් වෙඩි තැබීම් කරලා තියෙනවා. ආත්මාරක්ෂාවේ බලතල පාවිච්චි කරලා තමයි ඒක කරලා තියෙන්නේ. මේක මෙහෙයවන්න මැදිහත් වුණු හත්සිය තිස් හතර දෙනෙක් වෙනත් බන්ධනාගාර වලට යවලා තියෙනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd