(පැතුම් දර්ශන)
හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ පළවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී යතුරුපැදියක් බස්රථයක මුහුණට මුහුණ ගැටී අද (11) දහවල් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් පාසල් සිසුවෙකු හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන මොරගොඩ මූකලාන ප්‍රදේශයේ පදිංචිව සිට හොරොව්පොතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයෙ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටී මානික්කුලම්ලාගෙ කණිෂ්ක මධුවන්තද සිල්වා නැමැති 16 හැවිරිදි සිසුවෙකි. ඔහු ඊයේ (10) අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති බව පොලීසිය කියයි.
හොරොව්පොතාන නගරයේ සිට කපුගොල්ලෑව මාර්ගයේ වාගොල්ලාකඩ දක්වා ගමන්කර ඇති පෞද්ගලික බස් රථය එම මාර්ගයේ පලවෙනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී ඉදිරියෙන් එක පෙළට ගමන් ගත් ට්‍රැක්ටරයක් සහ කැබ් රථයක් පසුකර යාමට උත්සාහ කර ඇති බවත් ඒ මොහොතේ ඉදිරියෙන් යතුරුපැදියෙන් පැමිණ ඇති පාසල් සිසුවා බස් රථයේ මුහුණට මුහුණ වැදී ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය වැඩිදුරටත් කියයි.
බස් රථයේ රියදුරු ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බව පවසන පොලිසිය අනතුරෙන් සිසුවාගේ හිසට සිදුවූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුවන්නට ඇති බවට ද සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන අද(11) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණයද කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් වරයා විසින් අද (11) සවස සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 16ක දරුවෙක් මෙසේ අකාලේ මියයාම පිළිබඳව අපගේ බලවත් කණගාටුව. මේ දරුවාගේ දෙමාපියන් මොනතරම් දුක්ගැහැටක් විඳින්න ඇද්ද දරුවා හදාවඩා ගැනුමට. මෙම පුවතේ පැහැදිලි නැහැ මොහු මෝටර්සයිකලය පැදෙව්වාද? නැද්ද? යන්න. කෙසේ වෙතත් අප අවංකව නොදන්නා කරුණක් පැනයක් ලෙස විමසීමට කැමැත්තෙමු. අවුරුදු 16 (අවුරුදු 16 යනු වැඩිමහල් කෙනෙකු නොවෙන බැවින්) මෝටර් සයිකල් පැදවීමට රියදුරු බලපත්‍රයක් ගත හැකිද? දන්නා කෙනෙකු අපගේ දැනුම වැඩිදියුණු කරගැනුමට සත්‍ය පිළිතුරක් බලාපොරොත්තු වන්නෙමු. මේ දරුවාට නිවන් සුව අත්වේවා..!!!
කොල්ලට 16යි. නිසැකවම ලයිසන් නැතිව ඇති...