(සුජිත් හේවාජුලිගේ )

බූස්ටර්  එන්නත ලබා ගැනීම පැහැර හැරියහොත් ඔමික්‍රෝන්  සුනාමියක් ඇතිවිය  හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

බොහෝ දෙනා බූස්ටර්  එන්නත ලබා ගැනීම මග හරින තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා විශේෂයෙන්ම තරුණ  පරපුර විවිධ මිථ්‍යා මත නිසා බූස්ටර් එන්නතට බියවී සිටින බවද  ප්‍රකාශ කළේය.

බූස්ටර්  එන්නත ලබා ගැනීමෙන් සෞඛ්‍යමය වශයෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන්නේ යැයිද ඔහු පැවසුවේය.

විශ්වවිද්‍යාල පටන් ගැනීමට පෙර එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවත් ළඟම ඇති  එන්නත්කරණ  මධ්‍යස්ථානවලට පැමිණ එන්නත  ලබාගන්නවා ලෙසට සියලු විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බවත්  දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් කළේය.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය  ලෝකය පුරා තදින් පැතිර යන හෙයින්  ශ්‍රී ලංකාවේද එය ප්‍රබලම වයිරසය බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව  සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා එන්නත කඩිනමින් ලබා ගැනීම මෙම ඔමික්‍රොන්  වයිරසයේ බලපෑමෙන් මිදීමට ඇති එකම ක්‍රියාමාර්ගය බවද සඳහන් කළේය.

එකම එන්නතක් හෝ ලබා නොගත් පිරිස්ද මේ අතරේ සමාජයෙන් හමුවන බව  ඔහු වැඩිදුරටත් පැවැසීය.