(අංජුල මහික වීරරත්න)

බස් රථ ක්ෂේත්‍ර  පොකුරුකරණ නියමු වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙරට දෛනික මගී ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය බස් රථ ප්‍රවාහනය වන අතර, එකී සේවාව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ස්වාධීන පෞද්ගලික බස් රථ ක්‍රියාකරුවන් විශාල සංඛ්‍යාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. 

පොදු මගී ප්‍රවාහන සේවා සැපයීමේදී කලක් තිස්සේ ක්‍රියාත්මක වන එම මෙහෙයුම් ක්‍රම වේදය හේතුවෙන් අධික තරඟකාරිත්වය, නියමිත කාලසටහන් පිළිපැදීමේ දුර්වලතාව, මාර්ගවල අධික බස් රථ ප්‍රමාණයක් ක්‍රියාත්මක වීම, බස් රථ ධාවනයේ අනාරක්ෂිත හැසිරීම්, මගීන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා, රථ වාහන තදබදය, සේවා අසමතුලිතතාවය සහ සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිත කිරීම වැනි ගැටලු රැසක් පැන නැගී ඇත. 

එවැනි ගැටලු සඳහා සාර්ථක විසඳුමක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල ' බස් රථ ක්ෂේත්‍ර පොකුරු කරණය' (Bus Sector Clustering) හඳුන්වා දී එකම ප්‍රවාහන කොරිඩෝවක හෝ භූගෝලීය ප්‍රදේශයක ක්‍රියාත්මක වන බස් රථ සේවාවන් ඒකාබද්ධ කළමනාකරණයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි. 

එකිනෙකට සම්බන්ධ මාර්ග වල ධාවනය වන බස් රථ සේවාවන් තනි තනි මෙහෙයුම් ඒකක ලෙස නොව, ඒකාබද්ධ හා සම්බන්ධීකරණය කරන ලද සේවා පොකුරක් ලෙස කළමනා කරණය කිරීමේ ක්‍රමවේදයක්  බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණය ශ්‍රී ලංකාවට ද හඳුන්වා දීම මඟින් ඵලදායි මගී ප්‍රවාහන සේවාවක් සැලසීමට මෙන්ම, වර්තමානයේ බස් රථ ක්ෂේත්‍රය තුළ පවතින බොහෝ මෙහෙයුම් හා සාමාජීය ගැටලු අවම කර ගැනීමට හැකියාවක් පවතින බව හඳුනා ගනු ලැබ ඇත. 

ඒ අනුව, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, ප්‍රථම කොට, බස් මාර්ග අංක 170, 177 සහ 190 ආවරණය වන බස් රථ කොරිඩෝවන්හි ක්ෂේත්‍ර පොකුරු කරණයට අදාළ නියමු වැඩසටහනක් අදාළ පාර්ශ්ව කරුවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රතිඵල මත එම වැඩසටහන තව දුරටත් ව්‍යාප්ත කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.