(සිතුම් චතුරංග)

කිලිනොච්චිය පරන්තන් - මුලතිව් මාර්ගයේ මුරුසුමුටෙයි ප්‍රදේශයේදී මෝටර් රථයක් බස්රථයක ගැටී අද (12) සවස සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනකු මියගොස් තවත් අ‍යකු තුවාල ලබා රෝහල්ගතකොට ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.

පරන්තන් සිට මුලතිව් දක්වා ගමන්ගත් පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ සිටි රියදුරු සහ තවත් පුද්ගලයින් තිදෙනකු කිලිනොච්චිය රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර එහිදී තිදෙනකු මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේය.

මෝටර් රථයේ රියදුරු ඇතුළු තිදෙනකු එලෙස මියගොස් ඇති අතර ඔවුන් කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ත් 46 අතර වයසේ පසුවන්නෝ වෙති.

පොලිසිය පැවසූයේ මෝටර් රථයේ අධික වේගය හේතුවෙන් පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි බස්රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ එක් අයකු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම පුද්ගලයාගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකොට යැවීමට සූදානම් බවත් කිලිනොච්චිය රෝහල් ආරංචිමාර්ග සඳහන් කරති.

මියගිය පුද්ගලයින්ගේ සිරුරු මහෙස්ත්‍රාත් සහ පශ්චාත් මරණ පරීක්ෂණ කිලිනොච්චි සිදුකිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.