(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බාලවයස්කාර දරුවන්ට  මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට  සිර දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන ඇතුළත්  දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත්  කෙරේ.

ඒ සඳහා  අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේද අනුමැතිය   ලැබී ඇත.

මෙයට අමතරව  තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, සහ සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්ද  පාර්ලිමේන්තුවට අද (21)ඉදිරිපත් කිරීමට
එම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

අධිකරණ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත මඟින් කලින් ස්ථාපිත කර තිබූ  අවු. 18 ට අඩු වයස් සීමාව අවු. 18-22 ලෙස සංශෝධනය කෙරෙන  බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

මෙම කාරක සභා රැස්වීමට  රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සාගර කාරියවසම්, (ආචාර්ය) සුරේන් රාඝවන්, මධුර විතානගේ යන මහත්වරුන්,අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද   සහභාගී වූහ.