(අංජුල මහික වීරරත්න)

නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි. 

මහල් 14 කින් යුත් අතිනවීන පහසුකම් වලින් සමන්විතවන මෙම නව වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ  ඇඳන් ධාරිතාවය 125 කි. නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර, රසායනාගාර, දැඩි සත්කාර ඒකක, වාට්ටු, ඇතුළු අංශ රැසකින් මෙම සංකීර්ණය සමන්විත ය. 

අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත මෙම වාට්ටු සංකීර්ණය සදහා නයින්වෙල්ස් (Ninewells) රෝහලේ කළමණාකාරීත්වය විසින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 6 කට ආසන්න වේ. මෙම ව්‍යාපෘතියේ  ඉදිකිරීම් වර්ෂ තුනක් තුළ එනම් 2029 වර්ෂය අවසන් වීමට පෙර නිම කර ප්‍රතිකාර සේවාවන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ නයින්වෙල්ස් රෝහලේ නව්‍ය පරිවර්ථනයක් සනිටුහන් කරන මෙම වැදගත් අවස්ථාවට එක්වීමට ලැබීම පිලිබදව සතුටට පත්වන බවත්, ඉදිකිරීම් ආරම්භ කරන නව වාට්ටු සංකීර්ණය රෝහල් ගමනේ අර්ථවත් පියවරක් සනිටුහන් කරන බව ද අවධාරණය කර සිටියේය.

නයින්වෙල්ස් (Ninewells) රෝහල මෙරට  පුද්ගලික අංශයේ මව් සහ ළමා සත්කාර සඳහා විශේෂිත  ප්‍රමුඛ  රෝහලකි. කොළඹ, නාරාහේන්පිට පිහිටා ඇති මෙම රෝහල මගින් කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පුළුල් පරාසයක වෛද්‍ය සේවාවන් සපයනු ලබයි.