(විමුක්ති එස් රුද්‍රිගු)

ඉදිරි වසර 10 සඳහා කිසිඳු ගැටළුවකින් තොරව සිය විදේශ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

නැවත ශ්‍රී ලංකාවට ණය ගෙවීම පැහැර හැරීමකට හෝ ණය අර්බුදයකට මුහුණදීමට සිදු නොවනු ඇති බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව සාර්ථකව සිය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම නිසාවෙන් ඉදිරි වසර 10 තුළදී වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ට වඩා අඩු බවත් මෙරට වසරකට ගෙවිය යුතු එම ණය ප්‍රමාණය කිසිඳු ගැටලුවකින් තොරව ගෙවා ගැනීමට අවශ්‍ය දළ නිල සංචිත ප්‍රමාණය ගොඩ නැගෙමින් පවතින බවත් ඔහු පැවැසුවේය.

මෙම වසර අවසාන වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකතනය කර තිබෙන බවත් එයට සංචාරක ආදායම, විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ලබාදෙන ණය මුදල් සහාය වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

වර්තමානයේ මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8කි. මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 8 දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකතනය කර ඇති මෙරට දළ නිල විදෙස් සංචිත ප්‍රමාණය ඉන් පසු වසරවලදී ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා වර්ධනය වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට අඩු විදේශ ණය ගෙවීම් ශ්‍රී ලංකාවට කිසිඳු ගැටලුවකින් තොරව සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද වීරසිංහ මහතා පැවැසුවේය.

ආර්ථික අර්බුදයට පෙර මෙරට පැවැති ශක්තිමත් ආර්ථික තත්වයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ළඟාවෙමින් පවතින බවත් ආර්ථික අර්බුදයෙන් පසුව අඛණ්ඩව තෙවැනි වසරටත් මෙම වසරේදී ශ්‍රී ලංකාව සියයට 4ත් 5ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟ කර ගනු ඇතැයි පුරෝකතනය කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

මැද පෙරදිග අර්බුදය හේතුවෙන් ගෝලීය ඉන්ධන මිලට ඇතිව තිබෙන අවිනිශ්චිතතා සහ දේශගුණික විපර්යාස මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට එවැනි ආර්ථික වර්ධනයකට ළඟාවීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔහු පැවැසුවේය. මෙම වසරේ පළමු අර්ධයේ සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකාව ළඟා කරගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථිකයේ ගමන් මග ජාත්‍යන්තරයේ ඇගයීමටද ලක්ව තිබෙන බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. ඉන්ධන හා ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා උද්ධමනය සියයට 7ක් දක්වා තාවකාලිකව ඉහළ ගියද, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හමුවේ ලබන වසරේ මුල් භාගය වන විට එය නැවත සියයට 5 ඉලක්කගත මට්ටමට පහළ බසිනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙරට ජංගම ගිණුම මෙම වසරේ දෙවැනි අර්ධයේදී නැවතත් අතිරික්තයක් වාර්තා කරනු ඇති බවත් ඒ අනුව අඛන්ඩව තෙවැනි වසරටත් මෙම වසරේදී මෙරට ජංගම ගිණුම අතිරික්තයක් වාර්තා කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම 2021–2023 කාලසීමාවේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8ක්ව පැවැති රාජ්‍ය ආදායම මේ වන විට සියයට 16 දක්වා දෙගුණයකින් වර්ධනය වී ඇති බවත් වීරසිංහ මහතා පැවැසුවේය.

තවද ප්‍රාථමික ගිණුම් අතිරික්තය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියම කළ සියයට 2.3 ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

අඛණ්ඩව වසර තුනක් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම සහ සංචාරක මෙන්ම විදේශ ප්‍රේෂණ ආදායම් වර්ධනය වීම පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC' මට්ටමේ සිට අර්බුදයට පෙර පැවති 'B' මට්ටම දක්වා ඉහළ නංවන ලෙස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන සමඟ ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වමින් සිටින බවද ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.

මෙරට සමස්ත ආර්ථික නිෂ්පාදනය සහ ඒක පුද්ගල ආදායම මේ වන විට අර්බුදයට පෙර පැවති මට්ටමට සාර්ථකව ළඟා වී ඇති බව ද ඔහු අවධාරණය කළේය. පසුගියදා කොළඹදී මෙරට තානාපතිවරුන් සමග පැවැති හමුවකදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.