(විමුක්ති එස් රුද්‍රිගු)

ස්විට්සර්ලන්තයේදී පැවැති පළමු වටයේ තාක්ෂණික සාකච්ඡා සාර්ථකව අවසන් වීමෙන් පසුව ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකර බොරතෙල් අපනයනය දිනකට බැරල් ලක්ෂ 60 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව පැවැසෙයි.

එසේම ඉරාකයද දිනකට අපනයනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය දිනකට ලක්ෂ 42ත් 43ත් අතර ප්‍රමාණයකට ඉහළ දැමීමට තීරණය කර ඇත. එම තීරණයත් සමග බොරතෙල් මිල ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව විශ්ලේෂකයෝ පවසති.

ඒ අනුව ඊයේ(22) ලෝක බොරතෙල් වෙළෙඳපොළේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.35ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.18ක් ලෙස සටහන් විය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි ඊයේ(22) ප්‍රකාශ කර සිටියේ ඉරාන බොරතෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදනයට ඇමෙරිකාව පනවා තිබූ සම්බධාක මේ වනවිට ලිහිල් කර තිබෙන බවයි.