(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

බෙංගාල බොක්ක කලාපය තුළ කලාපීය සහයෝගිතාව සහ ආර්ථික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව (BIMSTEC) පිහිටුවා ඇත. 

7 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව 2024 පෙබරවාරි මස පවත්වන ලද සාකච්ඡාවකදී රාජ්‍ය මුල්‍ය හා මුදල් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂඥ දැනුම හා අත් දැකීම් සාමාජික රටවල් අතර හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීම පිණිස 'රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ විද්වත් කමිටුවක්' පිහිටුවීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා  විසින් යෝජනා කර තිබේ. 

එම යෝජනාව අනුව සකස් කරනු ලැබ ඇති විද්වත් කමිටුව පිහිටුවීම පිළිබඳ සංකල්ප පත්‍රිකාව සඳහා සියලුම සාමාජික රටවල අමාත්‍යවරුන්ගේ අනුමැතිය හිමි වී තිබේ. එකී විද්වත් කමිටුවේ කාර්ය නිර්න සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට හැකිවන පරිදි එම විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සලකා බලන ලෙස බිස්ටෙක් ලේකම් කාර්යාලය විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මඟින් නිල වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇත. 

ඒ අනුව එකී විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම 2026 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.