
(සුජිත් හේවාජුලිගේ)
නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම්දී ඇත.
මේ අනුව රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
සමහර නිලධාරීන් තමන්ට නිල බලෙන් ලැබෙන වාහන තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා යොදවා අමාත්‍යාංශ සහ ආයතනවල සංචිතවල පවතින වාහන පාවිච්චි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් දරුවන් රැගෙන ඒමට පැමිණ පාසල් අවට නවතා තිබූ එවැනි සුඛෝපභෝගී වාහන ගණනාවක් පිළිබඳව රජයේ බුද්ධි අංශ ඒවායේ ඡායාරූපද සමග රජයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත.
පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා ලබාදී ඇති වාහන රැසකට විවිධ අනතුරු හේතුවෙන් පසුගිය කාලයේදී අලාභහානි සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ .
රජයේ වාහන අයථා ලෙස භාවිතා කර ඇතැයි පැවසෙන ප්‍රධානීන් කිහිප දෙනකුට ඒ සම්බන්ධයෙන් විනය බලධාරීන් විසින් දැනටමත් අවවාද කරනු ලැබ ඇත.
අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලවල වාහන අවභාවිතාව නිසා වසරකට රුපියල් කෝටි 200කට වැඩි මුදලක් නාස්ති වන බවට රජය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර ලබාදීමට මෙතෙක් දැනුම්දීමක් කර නැතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. රටේ පවතින මූල්‍යමය අරබුදය හේතුවෙන් එම වැඩපිළිවෙළ මේ මොහොතේදී ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි දෙවියනේ.. මේ විස්තර දැනගෙන තියෙන්නේ දැනුයි. ඉතිං පාස්කු ප්‍රහාරය වගේ දෙයක් නොදැන ගැනීම සාධාරණයි. මේ අය රටක් පාලනය කරනවා කියන එකත් පුදුමයි. සමස්ථයක් වශයෙන් රට පාලනය කරන සහ කළ සියළු දෙනා ගැනම සලකලයි කියන්නේ...
බලය තියෙනවා කියන හැමදෙනාම තරගෙට වගේ කිසිම හිරිකිතයක්, ලැජ්ජාවක් නැතිව රජයේ දේපළ හොරකම් කරනවා, වාහන පුද්ගලික කටයුතු සඳහා භාවිතා කරනවා. නමුත් මේ දූෂිතයින්, අපරාධකාරයින් ඔක්කොමලා දරුවන් එක්ක හොඳ යහතින් හොඳ සනීපෙන් ඉන්නවා. ඒකයි ලොකුම පුදුමේ. ඉතින් උඩ ඉන්න දෙයියෝවත් දඬුවම් කරන්නේ නැත්ද?
ඔය වැඩිපුර තිබෙන වාහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාවිච්චි කරන්න දෙන්න.
උසස් යැයි කියන පහත් වැඩකරන නිලධාරින් කරන වැඩ ටිකක් අහගන්න. දීප ව්‍යාප්ත සේවා 11ට අදාල නිළධාරින් හා සංස්ථා මණ්ඩලවල ලොකු ලොක්කන් රජයේ අනුග්‍රහයෙන් වාහන බලපත්‍ර මත මිලට ගන්නවා. කාර්යාලයේදී නිලරථයක් ලැබෙනවා... මාසෙකට රුපියල් 1500/=ක් ගෙවලා පුද්ගලික පාවිච්චියට ගන්නත් පුළුවන්... කාර්යාලයේ නිළරථය අලුත් වැඩියාව කරන කාලයේ හෝ පුද්ගලික වාහනය විකුණා ඇත්නම් කුලියට වාහනයක් ගන්න පුළුවන්... ඒකත් පවුලේ කෙනෙකුට අයත් වෙන්න බැරි නැහැ. ඒ මුදල් ගන්නා අතරේ රාජකාරි සඳහා සංචිත වාහනයක් කාර්යාලයේ නිලධාරින් නමට වෙන්කරගෙන මගදී ඒ වාහනයේ ගොස් කුලී වාහනයට ගාස්තුව ගන්නවා. එහෙමයි රටේ සෞභාග්‍යයේ තරම.1895 දී තරම් උපදිසාපතිට (දැන් ප්‍රාදේශීය ලේකම්) වාහන තිබුනේ නැහැ. බස් එකේ ගොස් රාජකාරි කලේ. දැන්නම් ක්ෂේත්‍ර රාජකාරි කරන සමහරක් අයටත් ලොකු වාහනයක් නැතුව බැහැ.. (අත්දැකීම් ඇසුරෙනි)
දැන් ඉතින් වාහන ගෙනාපු අයට බේරෙන්න වෙන්ඩැති. සර් එක්ක ලේසි වෙන්නෑ. සර්ට වඩා හොඳට කරන කෙනෙක් නැහැ මොන රටකවත්...!
අයියෝ බුද්ධි අංශ වැටුන තැනක්
මේ අමනයන්ට දඩයක් පනවන්න. මේ අමනයෝ රටට සහ ජනතාවට සේවය කරනවා වෙනුවට මිනිසුන්ගේ වියදමින් තමන්ට සේවය කරති.
ලංකාවේ එහෙම දේවල් වෙන්නේ නැහැ.සර් විසින් එම රජයේ කාර්යාල වලට කඩන පැනීම නිසා නිලධාරීන් 100% ජනතා සේවයේ යෙදෙනවා ,රියදුරු බලපත් ,හැදුනුම් පත් පෝලිම් දැන් නැහැ
ඩිිල් දාන අය ගැන හොයන්නෙ නැද්ද.