(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට 2025 වසරේදී තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 5 ක හෙවත් ඩොලර් කෝටි 500 ක විදේශ විනිමය ආදායමක් ඉපයීමේ ඉලක්කයක් ඇති බවත් හිටිහැටියේ බදු පැනවීම එම ඉලක්කයට බාධාවක් බවත් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පැවසීය.

තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරයෙන් 2024 වසරේ ඩොලර් බිලියන 3 ක ආදායමක් ද, එය 2025 වසරේ ඩොලර් බිලියන 5 ක ඉහළට ගෙන ඒම ඉලකක්ය බව කී හෙට්ටිහේවා මහතා ඩොලර් මිලියන 3 ක් ඉපයීමට තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ලක්‍ෂ 3 ක් ද, ඩොලර් බිලියන 5 කට යෑමට වෘත්තිකයන් ලක්‍ෂ 5 ක් පමණ අවශ්‍ය බව ද සඳහන් කළේය.

එම ඉලක්කයට යෑම සඳහා වසරකට වෘත්තිකයන් 20,000 ක් පමණ අලුතින් එකතු වියයුතු වුවද වර්තමානය වන විට එය වෘත්තිකයන් 9,000 ත් 10,000 ත් අතර අඩු මට්ටමක පවතින බවත් මේ ආකාරයට එකවර බදු පැනවීමෙන් ඉතිරිව සිටින දක්‍ෂ තොරතුරු තාක්‍ෂණ ඉන්ජිනේරුවන් ද විදේශ රැකියාවලට පිටත්ව යෑම වැලැක්විය නොහැකි බවත් හෙට්ටිහේවා මහතා කීය.

තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ඉහළ වැටුප් ලබන රැකියා වීම නිසා වැටුප මත බදුු සියයට 30 ක් දක්වා ඉහළ දැමීමෙන් විශාල වශයෙන් තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් රට හැර යෑමේ ප්‍රවණතාවක් ඇතිව තිබෙන බව කී හෙට්ටිහේවා මහතා සඳහන් කළේ පෞද්ගලික අංශය ලෙස තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ද බදු ගෙවීමට සූදානම් නමුත් ඒ සඳහා ව්‍යාපාරිකයන්ට කාලය දිය යුතු බවත්ය.

එකවර බදු පැනවීමෙන් දක්‍ෂ තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවන් රට හැර ගියහොත් කර්මාන්තය පවාගෙන යෑමට නොහැකි වනු ඇති බවත් බදුවලින් අධ්‍යාපනය සහ නවෝත්පාදනයට ආයෝජනය නොකර එම මුදල් පාඩු ලබන රාජ්‍ය ආයතනවලට වියදම් කරන්නේ නම් එහි ඵලක් නොමැති බවත් ඒ මහතා කීය.

කොළඹදී පැවැති ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ දෙවැනි දිනයේ ‘ශ්‍රී ලංකා ඩිජිටල් ආයෝජන සමුළුව’ ආරම්භ කරමින් හෙට්ටිහේවා මහතා එසේ පැවසීය