(අංජුල මහික වීරරත්න)

මෙරටදී නිෂ්පාදනය කළ හැකි බෝග වර්ග හතක බීජ ලබන වසරේදී ආනයනය කිරීම සීමා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අල, බී ලූණු, මිරිස්, රතු ලූණු, උඳු, බඩඉරිඟු  හා රටකජු යන බෝග හයේ බීජ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ වැඩසටහන මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

නාවලපිටිය අළුත්ගම මිරිස් බීජ නිෂ්පාදන ගම්මානය මේ වන විටත් දෙමුහුන් බීජ කිලෝ 1500 ක් නිෂ්පාදනය කර ඇති බවත් බී ලූණු බීජ නිෂ්පාදනය මේ වන විට දඹුල්ල දිගම්පතන ගොවි බිම්වල සිදු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

අර්තාපල් බීජ නුවරඑළිය රජයේ ගොවිපලේ නිෂ්පාදනය කෙරෙන අතර  රතු ලූණු උඳු, රටකජු හා බඩඉරිඟු බීජ ද මේ වන විට සාර්ථකව නිෂ්පාදනය කෙරෙන බැවින් ලබන වසර අවසානයට පෙර මෙම බෝග සඳහා බීජ ආනයනය සීමා කෙළ හැකි බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙම සාකච්ඡාවෙිදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ⁣සඳහන් කර ඇත්තේ බීජ ආනයනය සීමා කිරීමෙන් පමණක් නොනැවතී 2024 වන විට මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් අල හා බී ලූණු ආනයනය 35% හා 30%කට සීමා කිරීමටත් කටයුතු කළ හැකි බවයි.