(ප්‍රසාද් රුක්මල්,සමන් පාලිතනානායක්කා, නිශාන්ත කුමාර )

බණ්ඩාරවෙල පූනාගල මාපිටිය ගල්වලේ ගල්පර්වතයක් කඩා වැටීමෙන් ගල් බෝර ගසමින් සිටි කම්කරු සේවකයන් දෙදෙනකු එම ගල්ගොඩට යට ව අද (14) දහවල් මියගිය බව ලියන්ගහවෙල පොලිසිය පවසයි .

ගල්වලේ ගල්පර්වතය කඩාවැටීමෙන් ගල්වලේ නවතා තිබු ජේසීබී යන්ත්‍ර දෙකකට, ලොරි රථයකට සහ බැකෝ යන්ත්‍ර දෙකකට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි පොලිසිය කීය .

ගල්පර්වතය කඩාවැටී ඊට යටවීමෙන් බණ්ඩාරවෙල ඔත්තකඩේ ප්‍රදේශයේ පදිංචි ව සිටි ආර්.එම්.අජන්ත(45) නැමති පස්දරු පියකු සහ බණ්ඩාරවෙල ලියන්ගහවෙල බ්‍රෝටන්වත්ත පදිංචිව සිටි ගනේෂ් ලිංගේස්වරම් (25) නැමති තරුණයකු මෙසේ මියගොස් ඇති බවත් පොලිසිය පැවසීය .

මොවුන් දෙදෙනා අද(14) උදෑසන සුපුරුදු පරදි පූනාගල මාපිටිය ගල්වලේ අඩි 300ක පමණ ඉහලට ගොස් ගල්බෝර ගසමින් සිටියදි එක්වරම ගල්වලේ ඉහල ගල්පර්වතයක් කඩා වැටී මොවුන් දෙදෙනා ඊට යටවී ඇතයි පොලිසිය සදහන් කළේය .

ගල්පර්වතෙයේ වැටුන කලුගල් අතරේ මොවුන් දෙදෙනා සිරවිමෙන් හිසට අත්පාවලට මෙන්ම සිරුර‍ෙවලට දැඩි ලෙස හානිවී සිරුරේ කොටස් තැනින් තැන විසිරී ගොස් ඇති බවත් පොලිසිය කියයි.

ගල්වලේ කඩාවැටුන ගල්පර අතරේ සිරවි මියගොස් සිටින දෙදෙනාගේ මළසිරුරු ඉවතට ගැනීමට පවතින වර්ශාව මෙන්ම තවදුරටත් ගල්වලේ ඉහල ගල්පර්වත පහලට විටින් විට කඩාවැටෙන නිසාවෙන් අපහසු ව් ඇති බවත් , ලියන්ගහවෙල පොලිසියේ නිළධාරින් පිරිසක් සහ දියතලාව යුද හමුදා කදවුරේ කණ්ඩායමක්ද ද එම ස්ථානයට ගොස් අදාල මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටින බව උසස් පොලිස් නිළධාරියකු පැවසිය.

මේ පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(14) පස්වරුවේ පැවත්වීමට නියමිතය.