(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තානයේ කොහාට් නගරයේ පොලිස් කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 17ක් මියගොස් තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එරට පොලිසිය අද ප්‍රකාශ කළේය.

මියගිය පිරිස අතර ආරක්ෂක අංශ සාමාජිකයන් පස් දෙනකු සිටින බවද එම පළාතේ පොලිස් ප්‍රධානී සූල්ෆිකාර් හමීඩ් සඳහන් කර ඇත.

වාහනයක පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවකු පොලිස් කඳවුරේ ගේට්ටුව අසල සිය වාහනය පුපුරුවා ගෙන ඇති බවත් අනතුරුව අනතුරුව සන්නද්ධ පුද්ගලයන් පිරිසක් පොලිස් කඳවුරට ඇතුළුවීමට උත්සාහ කර ඇති බවත් පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.

පාකිස්තාන පොලිසිය පවසන පරිදි, ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදීන් හත් දෙනකු පොලිස් කඳවුරට ඇතුළුවීමට උත්සාහ කර ඇති අතර පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී ඉන් හය දෙනකු මියගොස් ඇත. එම පිරිස අතර මරාගෙන මැරෙන බෝම්බකරුවකුද සිටින බව එරට පොලිසිය පැවැසුවේය. කොහාට් පොලිස් කඳවුරු පරිශ්‍රයේ පිහිටි මුස්ලිම් පල්ලිය ආසන්නයේ මෙම ප්‍රහාරය සිදුව ඇති බවද පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.